Sunday, April 26, 2009

බස්නාහිර ජය....

අද සුවිශේෂී දවසක්. බස්නාහිර පලාත් සභා මැතිවරනයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය වාර්තාගත ජයක් ලැබුවා. බස්නාහිර බුද්ධිමත් ජනතාවත් රටේ සෙසු ජනතාව සමග එකතුවෙමින් රට වෙනුවෙන් තමන්ගෙ යුතුකම අඩුවක් නැතුව අති විශිෂ්ට ලෙස ඉෂ්ට කරල තියනවා. මම හදන්නෙ මැතිවරන ප්‍රතිපල විශ්ලෙශනයක් කරන්න නෙවි. මම කල්පනා කලේ වසර 3ක් ඇතුලත අපේ රටේ ජනතාවගෙ චින්තනය මොනතරම් විශාල වෙනසකට ලක් වෙලා තියනවද කියල. රටක ජනතාවගෙ චින්තනය වෙනස් කරන්න පාලකයන්ට පුලුවන් වීම සිතාගන්න අමාරු දෙයක්. එත් මහින්ද චින්තනය ඒ වෙනස සිදු කරල තියනවා. අද ලංකාවෙ ඉන්නෙ හාල්, පරිප්පු, හාල්මැස්සන් අඩුවට ගන්න බලාගෙන ඡන්දෙ ප්‍රකාශ කරන පිරිසක් නොවේ. අපේ පරම්පරාවම අලියට පිටින් කතිරෙ ගහලා නෑ කියල සාම්ප්‍රදායිකව එක පක්ශෙකටම ඇලිල ඉන්න ජනතාව දැන් ඉතාමත් අඩුයි. වාමාංශික ආන්ඩු වලින් ව්‍යාපාර වලට පාඩුයි කියල තමන්ගෙ වාසිය වෙනුවෙන් දගලන ව්‍යාපාරිකයින් දැන් ඉන්නෙ අතලොස්සක්. රටේ බහුතරයක් ජනතාව රට පෙරට තබල කතා කරන හිතන යුගයක් නිර්මානය වෙමින් පවතින ආකාරය දකින විට ලාංකිකයෙක් විදියට ඇතිවෙන්නෙ ලොකු ආඩම්බරයක්. වසර 30ක් දිග්ගැස්සුනු කුරුරි එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය අවසන් හුස්ම හෙලමින් සිටින මේ වගේ තීරනාත්මක අවස්ථාවක රටේ සමස්ත ජනතාවගේ ආශිර්වාදය ඒ සද්කාර්යට ලැබෙන බව මේ වගෙ මැතිවරන ප්‍රතිපල වලින් පිලිබිඹු වෙනවා. ලෝකෙ බලවත් කියල කියාගන්න රටවල් මේ පුංචි ශ්‍රි ලංකාව තමන්ගෙ යටත් විජිත කොලනියක් කියල හිතාගෙන වගේ ත්‍රස්තවාදීන් ආරක්ශා කරමින් අප්ට නොයෙක් තහන්චි දමද්දී බස්නාහිර ජනතාව ජනමතය රජය සමග බව පෙන්නල දීල තියනවා. අද අපි ලබන යුද ජයග්‍රහන වලට ජනතාවගේ මේ චින්තන පෙරලිය ප්‍රධාන හේතුවක්.
රටේ ජනතාව රජය සමග සිටිනතුරු ලෝකයේ මොන බලවතා මොන උප්පරවැට්ටි දැම්මත් අපේ අවසාන අරමුණ වන ත්‍රස්තවාදය නිම කොට සියලු ජාතීන්ට සාමයෙන් ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීමේ කාර්යය සාර්ථකව අවසන් කිරීම අපහසු නොවනු ඇත.