Tuesday, December 27, 2011

සිංහල සංගීතයේ 80-90 දශකය නැවත සොයා යාම

මීට වසරකට පමණ ඉහතදී භාතිය-සන්තුෂ් විසින් "මා හඩවලා" ගීතය ප්‍රතිනිර්මාණය කල විට බොහෝ තරුණ පිරිස් එය භාතිය-සන්තුෂ් දෙපලගේ තවත් එක ස්වතන්ත්‍ර නිර්මාණයක් යැය් සලකා උදම් අනන්නට විය. 80 දශකයේ අග හෝ 90 දශකයේ මුල උපන්, අද දවස පුරා තොර තෝංචියක් නැතුව අපට ඇසෙන නව පන්නයේ සිංහල ගීත රසිකයින් නොදන්නා ඒ අපූරු ගීත 90 දශකයේ නිමවුම්ය.
80 දශකයේ අග එතෙක් සිංහල සංගීතය ගමන් කල සාම්ප්‍රදායික රටාව වෙනස් කල සිදුවීමක් විය. ඒ රූකාන්ත ගුණතිලක ආගමනයය්. රූකාන්ත එතෙක් පැවතුනු සංගීත රටාව උඩු යටිකුරු කළා යයි කිවහොත් නිවැරදිය. බඹර පහස කැසට් පටය (එකල C.D නොතිබුණි) නොතිබුණු නිවසක්, නොඅසූ කෙනෙක් නොසිටියා යැය් කිවහොත් එය අතිශයෝක්තියක් නොවන තරමට එය ජනප්‍රිය විය. රූකාන්ත තම ගී නිර්මාණ සදහා වෙනස් තනු හා ස්වර පරාස උපයෝගී කරගත්තේය. මෙය ප්‍රබල වෙනසක් විය.
අද මෙන් පරිගණක භාවිත සංගීත නිර්මාණ නොව, සියලුම ගීත වාදන භාණ්ඩ උපයෝගී කොටගෙන, සියලුම වාදන භාණ්ඩ වල හඩ ඇසෙන පරිදි නිමවූ ඒ ගීත සැබවින්ම වෙනසක් ඇති කළේය. මේ ඇතිවෙමින් තිබූ වෙනසට රුකුලක් වෙමින් සන් ෆ්ලවර් සංගීත කණ්ඩායම නන්ස්ටොප් සංගීතය නව මානයකට රැගෙන ගියේ 80 දශකයේ අගදී එළිදුටු තම සංගීත සලාදේ කැසට් පටය හරහාය. මෙය එවකට ප්‍රබල විවේචනයන්ට බදුන්වුවත් අද ඇසෙන නොනවතින ගී සමග සසදන විට, බොහෝ නිර්මාණාත්මක විය. රූකාන්තගේ ආගමනය සමග ඔහුගේ සම්ප්‍රදාය අනුව යමින් තවත් පිරිස් කල එලි බසින්නට විය. මේ අතර 90 දශකයේ මුල් භාගයේ එක් රැයකින් රට පුරා ඉමහත් ජනප්‍රියත්වයකට පත් නාමල් උඩුගම සංගීත ක්ෂේත්‍රයේ පෙරලියක් ඇති කිරීමට සමත් විය. ඔහුගේ "සමුගන්නේ නැ" ප්‍රථම කැසට් පටය අතිශයින් ජනප්‍රිය විය. එම කැසට් පටයේ 10 වන ගීතය වුයේ අද වනවිට ඉමහත් ජනප්‍රියත්වයක පත්ව ඇති " රෑ සිහිනේ ඔබ ලග මා" ගීතයයි.
මීටත් කලින් 80 දශකයේ අග භාගය තුල ආත්මා ලියනගේ තම ප්‍රථම ගීත එකතුව වූ "ලිය තඹරා" හරහා ඉමහත් ජනප්‍රසාදයක් හිමි කරගෙන තිබුණි. ඔහුගේ දෙවෙනි කැසට් පටය වූ "මල් සුවඳ" නාමල් උඩුගමගේ "සමුගන්නේ නෑ" සමග සමාන්තරව රසිකයින් අතර ජනප්‍රිය විය. මෙලෙස රූකාන්ත, ආත්මා, නාමල් අතිශය ජනාදරයට පත් වෙද්දී, රූකාන්ත ගීතරචනයට හා සංගීත/තනු නිමවා නව පරපුරක් බිහි කිරීමට දායක වූයේද 90 දශකයේ මුල් භාගය තුළදීමය. එලෙස රූකාන්ත විසින් කරලියට එක් කල තරුවක් වූයේ, "සුදු මීදුම" කැසට් පටයෙන් ජනප්‍රියත්වයට පත් ග්‍රේෂන් ජයමහ යි. ඔහු එම කැසට් පටයට ගැයූ "මා හඩවලා" ගීතය වර්තමානයේ භාතිය-සන්තුෂ් දෙපල විසින් නැවත ගයමින් සිටී. මේ අතරේ නිහඩව සිංහල සංගීතයට ඉමහත් සේවාවක් ඉටු කරමින් සිටි ජාතික තරුණ සේවා සභාව හරහා තරුණ ගායන තරු රැසක් බිහි වන්නට විය. එහි ප්‍රථමයා ලෙස සැලකිය හැක්කේ "සඳ කුමාරියක්" කැසට් පටයෙන් ජනාදරයට පත් ප්‍රින්ස් උදය ප්‍රියන්තයි. ඔහුට පසුව චන්දන ලියනාරච්චි, විජය බණ්ඩාර වැලිතුඩුව ජාතික තරුණ සේවා සභාව හරහා එලිබට ගායකයින් විය.
මෙලෙස වෙනස්ම ආකාරයේ සංගීත සම්ප්‍රදායක් සිංහල සංගීතයට එක් කිරීමට 80 දශකයේ අග භාගයේ හා 90 දශකයේ බිහි වූ ගායන ශිල්පීන්ට හැකිවිය.එවකට පාසල් සිසුන් වූ අප අතර නිතර මුවරැඳුනේ මෙම ගීතයි. පසු කාලීනව මෙම ගී සමහරුන්ගේ නිර්දය විවේචනයට ලක් වන්නට වූයේ මේවා බොළඳ බංකොලොත් නිර්මාණ ලෙස ගැරහුමට ලක්වෙමිනි. මෙම ගීත අසන විට මේවා තුට්ටු දෙකේ තුන්වන පන්තියේ ගී ලෙස හාදින්වූහ.
නමුත් කාලය කෙතරම් වෙනස් වී ඇද්ද? එදා ග්‍රේෂන් ජයමහ මා හඩවලා ගීතය ගයන විට, වර්තමානයේ මෙන් ට.වී, රේඩියෝ හරහා බලහත්කාරයෙන් ගීත ශ්‍රවනය නොකරන විට, කැසට් පටයක් හරහා එම ගීත ඇසු අපට සිනාසුනු උන්ම, අද භාතිය-සන්තුෂ් එම ගීතය සාද, ප්‍රසංග වල ගයනවිට අසීමිත ප්‍රතිචාරයක් දක්වති. නාමල් අඬන ගීත කියනවා යයි කියූ aඅයම, ශිහාන් මිහිරංග "රෑ සිහිනේ" ගීතය ගයනවිට උමතු වී සිටිති.

හරසුන් වචන, තාලයක් නැති, එහෙත් ගීතය මැද්දෙන් රැප් කොටස් එකතුකළ අද ඇසෙන බොහෝ ගීතයැය් කියාගන්නා ඒවා හිස් මුදුනෙන් පිළිගන්නා සමහරු එදා80-90 දශකයේ නිමවූ රූකාන්ත, ආත්මා, නාමල් සම්ප්‍රදායට ගරහන්නේ තමන්ගේ සිත තුල ඇති පටු පන්ති ගැටළුවක් නිසා යැය් මට හැගේ.