Friday, April 12, 2013

සිහිනෙන් ගෑ සුවඳක් වන් මගේ අවුරුදු මතකය


අවුරුද්දට ගමේ ආපු වෙලාවෙ නොදැනීම වගේ මගේ මතකය මීට අවුරුදු 28 කට විතර ඈතට දිවගියා. අද පරපුර අහල දැකල නැති සැබෑ සිංහල අවුරුදු සිරිත් විරිත් ඒ අයුරින්ම සැමරූ අවසාන පරම්පරාවේ මමත් එක් සාමජිකයෙක් කියල මට හිතුනෙ ඒ වගේ වෙලාවක...

අපි ප්‍රාථමික අධ්‍යාපනය ලබන කාලේ සහ ඉන් පස්සෙ අවුරුදු  දෙක තුනක් ජීවත් වුනේ මගේ උපන් ගම වුනු මාතර දිස්ත්‍රික්කයේ දුෂ්කර හද්දා පිටිසර අදත් ගැමි ජීවන රටාව නොනැසී පවතින අකුරැස්ස ප්‍රදේශයේ පෝරතොට කියන ගමේ.
ඒ කාලේ සිංහල අවුරුද්ද කියන්නෙ පොඩි අපගේ ලොකුම සතුට. අවුරුදු සමය නිල වශයෙන් පිලිගන්නෙ ගෙදරට නැකත් සීට්ටුව හම්බ වුනාමයි. අද කාලේ නම් ඕනෑම පත්තරයක අවුරුදු සිරිත් විරිත් සදහන් වුනත් එදා අපි හරියටම අවුරුදු නැකැත් වෙලාවන් පිලිගත්තේ නැකත් සීට්ටුවෙන් බලලයි. නැකත් සීට්ටුව ගෙදරට අරගෙන එන කාලේ වෙනකොට අපිට පාසල් නිවාඩුව ලැබිලා. මුලින්ම කරන්නේ අම්මා අපිට අවුරුද්දට ඇඳුම් අරන් දෙන්න අපිව එක්කගෙන ලගම තියන අකුරැස්ස නගරයට යන එක. ඒකත් ලේසි ගමනක් නෙවි. බාග ලොරි බස් එකේ කට කපලා සෙනග. ඔක්කොම අවුරුද්දට රෙදිපිලි, බඩු ගන්න නගරයට යන ගමේ මිනිස්සු.
උදේ ගියාම හවස් වෙනකොට රෙදි අරගෙන ගෙදර එනවා. සෙල්ලම් බඩුවක්, රතිඤ්ඤා පැකට් එකක් (100 රෝලක් රුපියල් 50 ට ගත්තා කියල මට හොදට මතකය්) වරදින්නේ නෑ.
අවුරුද්දට දවස් 3කට විතර කලින් මුලු ගෙදරම සෝදනවා. ඒකත් පුංචි අපි හරිම ආස කරපු වැඩක්. ටැප්, බට මොනවත් නැති අපේ ගෙවල් වල, ලිදෙන් වතුර ගෙනැත් හවස් වෙනකම් ගෙදර ඔක්කොම එකතු වෙලා ගේ බඩු මුට්ටු එලියට අරන් ගේ සෝදනවා.
ඒ අතරේ තාත්තා ගෙදර මිදුලෙ ගස් දෙකක් හරහා ලීයක් දාල ඔන්චිල්ලාවක් හදලා දෙනව. රුකුල් දාල, දෙන්නෙක් එක්ක වුනත් කිසි අවුලක් නැතිව සැලකිය යුතු උසක් අවුරුදු නිවාඩුව ඉවරවෙනකම් පදින්න තරම් සවි ශක්තියක් ඒ ඔංචිල්ලාවට තිබුනා.
ඊලගට කෙරෙන වැදගත්ම වැඩේ තමයි රස කැවිලි පිලියෙළ කිරීම. හැම ගෙදරකින්ම වංගෙඩියෙන් පිටි කොටන සද්දේ ඇහෙනවා. අපේ ගෙදරත් අම්මා, අත්තම්මා ඇතුලු ඔක්කොම එකතු වෙලා පිටි කොටලා, කැවුම්, කොකිස්, අතිරස හදන එක අනිවාර්ය සිදුවීමක්.
වැඩිහිටියන් ඒ විදියට අවුරුද්දට ලකලෑස්ති වෙද්දි පුංචි අපි කරන්නේ අවුරුදු දවසේ හෝ පරන අවුරුදු දවසෙ පවත්වන පුංචි අවුරුදු උත්සවේ තරග සැලසුම් කරන එක. හුගක් වෙලාවට අවුරුදු උත්සවේ තිබුනෙ අපේ ගෙදර මිදුලෙමයි. නෑදෑ පවුල්වල සහෝදරයින් සහ අවට ගෙවල් වල ලමුන් අවුරුදු උත්සවේ තරගකරුවන් වුනා.

අවුරුදු දවසෙ උදෙන්ම අලුත් ඇදුම් ඇදගෙන අසල් වැසි යාලුවො එක්ක සෙල්ලම පටන් ගන්නවා. නොනගතය වෙනකම් සෙල්ලම් කරලා, නොනගතේ වෙලාවට ඔක්කොම ගෙවල් වලට යනවා. නොනගතේ වෙලාවට අපි කලේ ජාතික රූපවාහිනියේ හෝ අයි.ටී.එන් එකේ යන අවුරුදු නාට්ය බලපු එක.
නොනගතයට කලින් ගෙදරට එලියෙන් වෙනම තිබුනු අපේ කුස්සිය අස් කරල වහලා තියන එක සම්ප්‍රදායක්. ආහාර පිසින නැකතට අම්මා කුස්සිය ඇරලා ලිප ගිනි මොලවනවා. හරියටම ආහාර අනුභව නැකතට වෙනකොට අංග සම්පූර්ණ අවුරුදු මේසයක් හදන එක අරමුන වුනා.
ආහාර අනුභව නැකතෙදි තාත්තාගෙ අතින් ගෙදර ඔක්කොටම කිරිබත් පිගානක් ලැබෙනවා. හුගක් වෙලාවට පුංචි අපිට මේ වැඩේ පොඩ්ඩක් පරක්කු වෙන්නේ නැකත් වෙලාවෙ රතිඤ්ඤා පත්තු කරන්න යන නිසයි. ආහාර අනුභවයෙන් පස්සේ තාත්තා අපි ඔක්කොටම බුලත් කොලයක දවටපු කාසියක් හෝ කීපයක් දෙනවා. ඉන් පස්සේ අපේ ගේ අලෙවි කරන චාරිත්‍රය හැමදාම කරන මාමා කෙනෙක් අවුරුද්දේ මුල්ම අමුත්තා විදියට ගෙදරට එනවා. කෑම මේසයේ පලමු අමුත්තා වන්නේ ඔහුයි.
නැකතට වැඩ ඇල්ලීම වෙනුවෙන් පාසල් පොතක් බලන එක අනිවාර්ය සිරිතක් වුනා. ඉන් පස්සේ තාත්තා පොරොන්දු වුනු ගෙවල් කීපයක අලෙවි කිරීම්ට යනවා. අපිත් හුගක් වෙලාවට තාත්තා එක්ක ඒ වැඩේට යන්නෙ පුදුම ආසාවකින්.  අවුරුදු නැකැත් වලින් පස්සේ ප්‍රධාන ආහාර වේල් කලින් කතා කරගත් පරිදි ලග ඉන්න නෑදෑ ගෙවල් වලින් සංවිධානය වුනා. අවුරුදු දවස පුරාම ගෙදර මිදුලෙ වලකජු ගහන එකයි, කැට ගහන එකයි, වල සල්ලි ගහන එකයි නැතිවම බැරි ක්‍රීඩා බවට පත්වුනා.


මෙකී නොකී අනන්තවත් දෙයින් සර්ව සම්පූර්න වුනු අපේ ඒ සිංහල අවුරුද්ද අවුරුදු 28 කට 30 කට පසුව බලන විට මොන තරම් වෙනස් වී ඇද්දැයි සිතේ. නාගරීකරණය වූ සමාජයේ අවුරුදු සිරිතට එදා ලැබුනු සැලකිල්ල ගෞරවය නැතත්, යම් තරමකින් හෝ අපේ දරුවන් වෙනුවෙන් මේ උතුම් සිරිත් ඉදිරියට ගෙනයා යුතු නොවේද? මේ තරගකාරී, නිමක් නැති, මුදල් පසුපස හබායන සමාජයේ හමුවන, ආශ්‍රය කිරීමට සිදුවන සියලු වර්ගයේ මිනිසුන් සමග හොදින් ජීවත් වීමට අපට මග පෙන්වූයෙ එදා ඒ අප සැබැවින් අත්දුටු අපගේ උතුම් සිංහල සංස්කෘතික අංගයන් බව මගේ අදහසයි.