Tuesday, December 27, 2011

සිංහල සංගීතයේ 80-90 දශකය නැවත සොයා යාම

මීට වසරකට පමණ ඉහතදී භාතිය-සන්තුෂ් විසින් "මා හඩවලා" ගීතය ප්‍රතිනිර්මාණය කල විට බොහෝ තරුණ පිරිස් එය භාතිය-සන්තුෂ් දෙපලගේ තවත් එක ස්වතන්ත්‍ර නිර්මාණයක් යැය් සලකා උදම් අනන්නට විය. 80 දශකයේ අග හෝ 90 දශකයේ මුල උපන්, අද දවස පුරා තොර තෝංචියක් නැතුව අපට ඇසෙන නව පන්නයේ සිංහල ගීත රසිකයින් නොදන්නා ඒ අපූරු ගීත 90 දශකයේ නිමවුම්ය.
80 දශකයේ අග එතෙක් සිංහල සංගීතය ගමන් කල සාම්ප්‍රදායික රටාව වෙනස් කල සිදුවීමක් විය. ඒ රූකාන්ත ගුණතිලක ආගමනයය්. රූකාන්ත එතෙක් පැවතුනු සංගීත රටාව උඩු යටිකුරු කළා යයි කිවහොත් නිවැරදිය. බඹර පහස කැසට් පටය (එකල C.D නොතිබුණි) නොතිබුණු නිවසක්, නොඅසූ කෙනෙක් නොසිටියා යැය් කිවහොත් එය අතිශයෝක්තියක් නොවන තරමට එය ජනප්‍රිය විය. රූකාන්ත තම ගී නිර්මාණ සදහා වෙනස් තනු හා ස්වර පරාස උපයෝගී කරගත්තේය. මෙය ප්‍රබල වෙනසක් විය.
අද මෙන් පරිගණක භාවිත සංගීත නිර්මාණ නොව, සියලුම ගීත වාදන භාණ්ඩ උපයෝගී කොටගෙන, සියලුම වාදන භාණ්ඩ වල හඩ ඇසෙන පරිදි නිමවූ ඒ ගීත සැබවින්ම වෙනසක් ඇති කළේය. මේ ඇතිවෙමින් තිබූ වෙනසට රුකුලක් වෙමින් සන් ෆ්ලවර් සංගීත කණ්ඩායම නන්ස්ටොප් සංගීතය නව මානයකට රැගෙන ගියේ 80 දශකයේ අගදී එළිදුටු තම සංගීත සලාදේ කැසට් පටය හරහාය. මෙය එවකට ප්‍රබල විවේචනයන්ට බදුන්වුවත් අද ඇසෙන නොනවතින ගී සමග සසදන විට, බොහෝ නිර්මාණාත්මක විය. රූකාන්තගේ ආගමනය සමග ඔහුගේ සම්ප්‍රදාය අනුව යමින් තවත් පිරිස් කල එලි බසින්නට විය. මේ අතර 90 දශකයේ මුල් භාගයේ එක් රැයකින් රට පුරා ඉමහත් ජනප්‍රියත්වයකට පත් නාමල් උඩුගම සංගීත ක්ෂේත්‍රයේ පෙරලියක් ඇති කිරීමට සමත් විය. ඔහුගේ "සමුගන්නේ නැ" ප්‍රථම කැසට් පටය අතිශයින් ජනප්‍රිය විය. එම කැසට් පටයේ 10 වන ගීතය වුයේ අද වනවිට ඉමහත් ජනප්‍රියත්වයක පත්ව ඇති " රෑ සිහිනේ ඔබ ලග මා" ගීතයයි.
මීටත් කලින් 80 දශකයේ අග භාගය තුල ආත්මා ලියනගේ තම ප්‍රථම ගීත එකතුව වූ "ලිය තඹරා" හරහා ඉමහත් ජනප්‍රසාදයක් හිමි කරගෙන තිබුණි. ඔහුගේ දෙවෙනි කැසට් පටය වූ "මල් සුවඳ" නාමල් උඩුගමගේ "සමුගන්නේ නෑ" සමග සමාන්තරව රසිකයින් අතර ජනප්‍රිය විය. මෙලෙස රූකාන්ත, ආත්මා, නාමල් අතිශය ජනාදරයට පත් වෙද්දී, රූකාන්ත ගීතරචනයට හා සංගීත/තනු නිමවා නව පරපුරක් බිහි කිරීමට දායක වූයේද 90 දශකයේ මුල් භාගය තුළදීමය. එලෙස රූකාන්ත විසින් කරලියට එක් කල තරුවක් වූයේ, "සුදු මීදුම" කැසට් පටයෙන් ජනප්‍රියත්වයට පත් ග්‍රේෂන් ජයමහ යි. ඔහු එම කැසට් පටයට ගැයූ "මා හඩවලා" ගීතය වර්තමානයේ භාතිය-සන්තුෂ් දෙපල විසින් නැවත ගයමින් සිටී. මේ අතරේ නිහඩව සිංහල සංගීතයට ඉමහත් සේවාවක් ඉටු කරමින් සිටි ජාතික තරුණ සේවා සභාව හරහා තරුණ ගායන තරු රැසක් බිහි වන්නට විය. එහි ප්‍රථමයා ලෙස සැලකිය හැක්කේ "සඳ කුමාරියක්" කැසට් පටයෙන් ජනාදරයට පත් ප්‍රින්ස් උදය ප්‍රියන්තයි. ඔහුට පසුව චන්දන ලියනාරච්චි, විජය බණ්ඩාර වැලිතුඩුව ජාතික තරුණ සේවා සභාව හරහා එලිබට ගායකයින් විය.
මෙලෙස වෙනස්ම ආකාරයේ සංගීත සම්ප්‍රදායක් සිංහල සංගීතයට එක් කිරීමට 80 දශකයේ අග භාගයේ හා 90 දශකයේ බිහි වූ ගායන ශිල්පීන්ට හැකිවිය.එවකට පාසල් සිසුන් වූ අප අතර නිතර මුවරැඳුනේ මෙම ගීතයි. පසු කාලීනව මෙම ගී සමහරුන්ගේ නිර්දය විවේචනයට ලක් වන්නට වූයේ මේවා බොළඳ බංකොලොත් නිර්මාණ ලෙස ගැරහුමට ලක්වෙමිනි. මෙම ගීත අසන විට මේවා තුට්ටු දෙකේ තුන්වන පන්තියේ ගී ලෙස හාදින්වූහ.
නමුත් කාලය කෙතරම් වෙනස් වී ඇද්ද? එදා ග්‍රේෂන් ජයමහ මා හඩවලා ගීතය ගයන විට, වර්තමානයේ මෙන් ට.වී, රේඩියෝ හරහා බලහත්කාරයෙන් ගීත ශ්‍රවනය නොකරන විට, කැසට් පටයක් හරහා එම ගීත ඇසු අපට සිනාසුනු උන්ම, අද භාතිය-සන්තුෂ් එම ගීතය සාද, ප්‍රසංග වල ගයනවිට අසීමිත ප්‍රතිචාරයක් දක්වති. නාමල් අඬන ගීත කියනවා යයි කියූ aඅයම, ශිහාන් මිහිරංග "රෑ සිහිනේ" ගීතය ගයනවිට උමතු වී සිටිති.

හරසුන් වචන, තාලයක් නැති, එහෙත් ගීතය මැද්දෙන් රැප් කොටස් එකතුකළ අද ඇසෙන බොහෝ ගීතයැය් කියාගන්නා ඒවා හිස් මුදුනෙන් පිළිගන්නා සමහරු එදා80-90 දශකයේ නිමවූ රූකාන්ත, ආත්මා, නාමල් සම්ප්‍රදායට ගරහන්නේ තමන්ගේ සිත තුල ඇති පටු පන්ති ගැටළුවක් නිසා යැය් මට හැගේ.

5 comments:

Thusitha රන්දුනු said...

කතාව සම්පූර්ණ ඇත්ත මචන්.. මටත් මේ ගැන ලියන්න මාර උවමනාවක්‌ තිබ්බේ..
කොල්ලෝ කෙල්ලො බාල මහලු සෙට්‌ වෙන ඕන තැනක ඔය දැන් යන කොම්පුටර් සින්දු එකෙක්‌ වත් කියනවද..
70,80,90 දසකයේ සින්දු විතරයි කියන්නේ.. ඒකට ප්‍රධාන හේතුව ඒවා කෘතීම නිර්මාණයන් නොවීම..
බාල්දියකට මේසෙකට ගහල උනත් සිංග් කරන්න පුලුවන් තරමට ඒ නිර්මාණ ගුණයෙන් ඉහලයි...
2020 විතර අපේ වයස උනුත් මේ කතාවම කියයි නේ 2000,10 තියන නිර්මාණ ගැනත් අපි මේ කතාවෙනවා වගේ අපි ඉස්‌කෝලේ යන කාලේ අහපු සින්දු ගැන..

Kanchana said...

How about Athula Adhikari....I think he is also in the same category...along with Raju Bandara....

Wajira said...

Guys, I agree Athula Adhikari was doing some contribution as a singer/composer, But the names that Charitha was mentioning were prominent than them.(While Raju Bandara is no way near for me)

Athula was superb player though who started professional music career at very early age.

Bassa said...

ඒ කාලේ සිරිපාදේ වඳින්න යන එක බොහොම බැරෑරුම් වැඩක්. මම මේ කියන්නේ 'එ' කාලේ ගැන නෙමෙයි 'ඒ' කාලෙ ගැන. ඒ කිව්වේ මීට අවුරුදු එකසිය ගානකට කලින්. මාස ගානක් පේ වෙලා සිල් සමාදන් වෙලා කිල්ලට අහු නොවී ඉඳල තමා සමන් දෙය්යන් ගේ අඩවිය වැඳලා එන්න ගියේ. නැගල බහිනකන් තුන් සරණේ කියාගෙන, කට වරද්දගන්නේ නැතුව බොහොම භක්තියෙන්. පස්සෙන් පහු අපි පුංචි කාලේ, ඒ කිව්වේ මීට අවුරුදු 25 කට විතර කලිනුත් වැඩේ ටිකක් බරපතලයි. හැබැයි කලින්ට වැඩිය සරලයි. සතියකට විතර කලින් ලෑස්ති උනහම හරි. ඉස්සර වගේ ඉඩ කඩම් දරුවන්ට ලියල දෙන්න ඕනේ වෙන්නේ නැහැ. බස් එකේ නඩේත් එක්ක ගිහින් දවස් දෙක තුනකින් එන්නයි තියෙන්නේ. එත් හැබැයි භක්තිය සැහෙන්න තියනවා. සීත ගඟුලෙන් නාගෙන නැගල බහින අයට කරුණා කරගෙන ඉදිකටු පානේ ගෙත්තම් කරගෙන එහෙම තමා වැඩේ සිද්ද උනේ. ඔන්න ඒකට මීට අවුරුදු 5 කට විතර කලින්. මචන් සිරිපාදේ යමුද? එල! මම වෑන් එකක් සෙට් කරගන්නම්, උඹල බොන්න හැනපියර් හරි ඕල්ඩ් රිසව් හරි බෝතල් දෙක තුනක් ගනින් බාර් වහන්න කලින්, අරුන්ට කියමු බයිට් එකට චිකනුයි දැල්ලෝයි ඉස්සොයි හදන්න කියල. තව යන ගමන් මම දන්න joint එකකින් වල් ඌර උනත් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. රත්නපුරේ ළඟමයි තියෙන්නේ ස්පොට් එක... අද කොහොම සිරිපාදේ යනවද කියන එක ගැන නම් කියන්න තරම් දැනුමක් මට නැහැ...

සංගීත කලාව ගැන උනත් මට කියන්න තියෙන්නේ ඔය ටිකම තමා. කාලයත් එක්ක බොහොම බැරෑරුම් දේවල් හරිම සරල දේවල් වෙනවා. ඒ වගේම ඒවගේ තියන ගුණාත්මක අගය අඩු වෙනවා වගේ පේනවා කලින් හිටපු පරම්පරාවට. මොකද අපි හැම දෙයක් දිහාම බලන්නේ සාපේක්ෂව නිසා. 80 ගණන් වල මුල් කාලෙ රේඩියෝ වල (වෙළඳ සේවයයි ස්වදේශීය සේවයයි නේ තිබ්බේ) ඇහුනේ ගොඩක්ම බුදු ගුණ, දේශාභිමානි ගීත. වෙළඳ දැන්වීම් වලට උනත් ගියේ මෙන්න මේ වගේ ඒවා:

සිතට සැනසුම දෙන
පොඩි ළමයි කන පැන පැන....
දැක්කම කටට කෙල එන
පැතුම බුල්ටෝ වලින් ගෙන එන...

වික්ටර් ලට සුනිල් ලට එඩ්වර්ඩ් ලට ලැබුනේ බොහොම පොඩි ඉඩක්. මිල්ටන් අය්යට ඊටත් වැඩිය අඩු ඉඩක්. Clarance නම් උන්නද දන්නෙත් නැති ගානයි. ටික ටික මේවා වෙනස් වෙලා දැන් මගේ පරම්පරාවේ කට්ටිය ( ඒ කිව්වේ චරිතගේ වයසේ අය) කැමති වෙලා ඉන්න ගායකයන්ගේ සින්දු වලටත් ගුවන් විදුලියේ තැනක් අවා. පස්සෙන් පහු තාක්සනේ දියුණුවයි ආර්ථික රැල්ලයි එක්ක FM channel ගොඩකුයි ඒවායේ ලවක් දෙලවක් නැතුව යන්න ක්ෂණික සින්දු රැල්ලකුයි ඇවිල්ල තියෙන්නේ දැන්.

මේ ගමනේ එක සංක්‍රාන්ති සමයක තමයි චරිත කියල තියන ගායකයෝ බිහි උනේ. ඒ වෙනකොට උත්තර භාරතීය සංගීතයේ විශාරද වෙලා හිටිය ජනප්‍රිය ගයක ගායිකාවන් එක්ක හැප්පෙන්න/පෑහෙන්න ගියේ බොහොම හොඳ සංගීත දැනුමක් තියන රූකාන්තලා, ආත්මලා වගේ අය. Sunflower උනත් තිබ්බ හැකියාවයි දක්ෂ කමයි බොහොම ඉහලයි.

හැබැයි ඉතින් මේ කියන දේ අපේ රටට විතරක් පොදු දෙයක් නෙමේ. ලෝකේ බොහොමයක් තැන වල මේ දේම අඩු වැඩි වශයෙන් සිද්ද උනා. සංගීතේ විතරක් නෙමේ හැම දෙකින්ම.

අපි කැමති දේ තමා ලෝකේ තියන හොඳම දේ කියල හිතෙන එක සාමාන්‍ය දෙයක්. අපි හැමෝම එහෙම තමා. අපිට ඕනේ විදිහට තමා ලෝකේ කැරකෙන්න ඕනේ. 'අතීත කාමය' කියන්නේ ඔන්න ඕකට. හැබැයි වයසත් එක්ක සහ ඇසු පිරු තැන් වල කරක් ගැහීම නිසා ලැබෙන පරිනත වීමත් එක්ක අලුත් පරම්පරාව කරන කියන සමහරක් දේවල් ඉවසගන්න අපිටත් පුළුවන් වෙයි මචන්. අමරදේව ඩෙස්මන් එක්කත් සින්දු කිව්වේ...

පාර දිගේ - Paara Dige said...

මේ කතාවත් සියත FM එකේ 'රෑ 10 ට මම කැමතිම ගී 10' වැඩසටහනේ අහන්න ලැබුන එකක්:

"දැන් පහුගිය දවස් වල හරියට නවක තරුණයෝ එක එක තරග වලට පැරණි ගායකයන්ගේ ගීත ගායනා කරානේ..."

" හැබැයි ඔය කිසිම කෙනෙක් රූකාන්ත ගේ දිගන්තයේ ගීතය ගායනා කරන්න ගියේ නැහැ!"

"එකට හේතුව තමයි රූකාන්ත ගේ මේ ගීතය ඇතුළු ගොඩක් ගීත ගායනය කරන්න වගේම වාදනය කරන්නත් සංගීතය ගැන ගැඹුරු දැනුමක් වගේම දක්ෂතවයකුත් තියෙන්න ඕනේ."

"රූකාන්ත කියන්නේ මයිකල් ජැක්සන් වගේ කෙනෙක්. මයිකල් ජැක්සනුත් තමන්ගේ ගීත ලියල, ඒවාට සංගීතය දාලා, ප්‍රාසාංගික විදිහට ඉදිරිපත් කරනවා. රූකාන්ත වේදිකාවේ ගීතයක් ගායනා කරනකොට ඔහුගෙන් අස ඉවතට ගන්න හරි අමාරුයි!"